හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ඔන්ලයින් මුලාව

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.



සුරේකා එක් දියණියක් සිටි ගෘහණියක්. ඇයගේ ස්වාමි පුරුෂයා හමුදා සේවයේ නිරත වූවෙක්. ගෙදර අලුත්වැඩියා කටයුතු නිසා ඔවුන්ට ආර්ථික වශයෙන් ගොඩාක් අපහසුතා වලට මුහුණ දීමට සිදු වුණා.


දවසක් සුරේකා ෆේස්බුක් එකේ උඩට පහළට යනකොට නියම ඇඩ් එකක් දැක්කා. ඒකේ තිබුණේ ආර්ථික අපහසුතා නිසා දුක් විඳින කාන්තාවන්ට උපකාර කරන සංවිධානයක් ගැන විස්තරයක්. තවද සල්ලි හෝ පොළී රහිත ණය ලබා දී අත හිත දෙන්නේ සහ ඔවුන් උදව් කරන්නේ කාන්තාවන්ට විතරමයි කියලා එහි සඳහන් වුණා.


මේක දැක්ක ගමන් සුරේකාට පුදුම සතුටක් ඇති වුණා. එයා ෆේස්බුක් දැන්වීම (ඇඩ්) ශෙයා කරපු මල්කාන්ති ප්‍රනාන්දු කියන එක්කෙනත් එක්ක කතා කරන්න පටන් ගත්තා.


සුරේකා: හායි, මේ අර ෆේස්බුක් එකේ දාලා තිබ්බ ඇඩ් එක ගැන අහන්න ගත්තේ


මල්කාන්ති: හායි, ඔව් ඔව් අපි උදව් කරනවා ආර්ථික අපහසුතා තියන කාන්තාවන්ට, හැබැයි අපි පොඩි වැඩ ටිකක් දෙනවා අන්න ඒ ටික සම්පූර්ණ කරන්න ඕන. අමාරු දෙයක් නෙමෙයි..


සුරේකා: මොනවද කරන්න තියෙන්නේ?


මල්කාන්ති: පොඩි දෙයක් අනේ, පින්තූර ටිකක් එවන්න විතරයි තියෙන්නේ


සුරේකා: මොන පින්තූරද?


මල්කාන්ති: ඉස්සෙල්ලම ඔයා දණ ගහගෙන ඉන්න පින්තූරයක් එවන්නකෝ


සුරේකාගේ දුව ඇහැරිලා ඉන්න නිසා ඒ පින්තූර එවන්න බෑ කියලා එයා මල්කාන්තිට කිව්වා. එතකොට මල්කාන්ති කිව්වා එහෙනම් ඒ පින්තූර ටිකක් රෑ වෙලා එවන්න කියලා.


දුව නිදාගෙන ඉන්න වෙලාවක සුරේකා, මල්කාන්ති ඉල්ලපු පින්තූරෙ අරගෙන යැව්වා.


මල්කාන්ති: ඒක හොඳයි, දැන් තව වැඩක් තියනවා. ඔයාගේ කටට රෙදි කෑල්ලක් ඔබලා පින්තූරයක් අරගෙන එවන්න.


සුරේකාට සල්ලි ඕන වුන නිසා එයා ඒ වැඩෙත් කළා. ඊට පස්සේ මල්කාන්ති ඊලඟට කරන්න ඕන වැඩේ කිව්වා.


මල්කාන්ති: දැන් ඔයාට කරන්න තියෙන්නේ බෙඩ් ශීට් එකක් ඇඳන් ෆොටෝ එකක් එවන්න..


සුරේකාට පොඩ්ඩක් සැක හිතුන නිසා එයා කිව්වා එයාට මේ වගේ දේවල් කරන්න බැහැ, දුව ඇහැරෙයි කියලා. ඒත් මල්කාන්ති දිගින් දිගටම එයාට බල කරලා කිව්වා ඔක්කොම පින්තූර ටික එව්වෙ නැත්නම් සල්ලි හම්බවෙන්නේ නෑ කියලා.


අසරණ වූ සුරේකා ඒකටත් හිත හදාගෙන ඉල්ලපු පින්තූරය යැව්වා. හැබැයි මල්කාන්ති නම් එතනින් නැවතුනේ නෑ.


මල්කාන්ති: ඔයාට පුළුවන්ද කටේ රෙදි කෑල්ලක් ඔබාගෙන, දණ ගහගෙන කෙඳිරි ගාන ෆොටෝ එකක් එවන්න?


මේ වෙලාවෙදි නම් සුරේකාට තද වුණා. මේක මොන වගේ සංවිධානයක්ද කියලා සැකත් හිතුනා. මල්කාන්තිගෙන් සල්ලි ගත්ත අනිත් ගෑනු ළමයි මේ ඔක්කොම දේවල් කරාද කියලා සුරේකා ඇහුවා.


මල්කාන්ති ඒකට උත්තරයක් දුන්නේ නෑ, ඒ වෙනුවට එයා කිව්වේ


මල්කාන්ති: ඔයාට දැන් මහන්සි නම් හෙට උදේ එවන්නකො. අනිත් එක දැන් එවපු පින්තූර ගැන එච්චර හිතන්න එපා. ඒවා ඩිලීට් කරලා දාන්න


සුරේකාට ඔවුන්ගෙන් කිසිම මුදලක් හම්බවුණේ නෑ. එයා අමුතු විදියට ගත්ත ඒ පින්තූර ගැන ගොඩක් කලබල වුණා, පසු තැවුණා. ඒ නිසා එයා හිතවතී ට වහාම කතා කළා. හිතවතී ඇයට අදාළ ගිණුම රිපෝට් කරලා බ්ලොක් කරන්න කියලා උපදෙස් දුන්නා. තවදුරටත් අදාළ පුද්ගලයා සමඟ කිසිම ආකාරයකින් සන්නිවේදනයක් (දෙබසක්) තියාගන්න එපා කියලත් හිතවතී සුරේකාට කිව්වා. අවසන් වශයෙන් සුරේකාට ඇයගේ පින්තූර විකෘති ලෙස අවභාවිතා වෙන බව පෙනී ගියොත් හිතවතී වෙත දන්වන්න කියලා උපදෙස් දුන්නා. ඒ වගේම මෙවැනි අන්තර්ජාලය ආශ්‍රිතව සිදුවන මුලා කිරීම් වලින් මින් ඉදිරියට වැළකී සිටින ලෙසටත් ඇයට අවවාද කළා.


පූර්වාරක්ෂක ඉඟි:


  • ඡායාරූපයක් / වීඩියෝවක් අන්තර්ජාලය හරහා යමෙකුට යැවූ පසු, ඔබ එය ඔබගේ උපාංගයෙන් මකා දැමුවත් (ඩිලීට් කළත්) අන්තර්ජාලයෙන් මුළුමනින්ම මකා දැමිය නොහැක. එබැවින් ඔබ අන්තර්ජාලය හරහා යමෙකුට (විශේෂයෙන් නාඳුනන පුද්ගලයෙකුට) පින්තූර / වීඩියෝ යැවීමට පෙර කිහිප වරක් සිතන්න.

  • බොහෝ විට යටි අරමුණකින් (කළු සල්ලි හෝ වංචා / ස්කැම්) තොරව කිසිවෙක් නොමිලේ මුදල් ලබා නොදෙන බැවින් සැලකිලිමත් වන්න.

  • සයිබර් ගැටළු විසඳාගැනීමට https://www.hithawathi.lk/si/useful-contact-information-si/  හි දක්වා ඇති අදාළ ආයතන හා සම්බන්ධ වන්න.

  • සයිබර් අපරාධයක් සම්බන්ධව පැමිණිල්ලක් ඇත්නම් ඒ බව පැහැදිලිව අදාළ සාක්ෂි (නිවැරදි ලින්ක්, ස්ක්‍රීන්ෂොට් යනාදිය) සහිතව සඳහන් කර CID එකට ගොස් භාර දිය හැක. නැතහොත් ලියාපදිංචි තැපෑලෙන් “අධ්‍යක්ෂ, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01” යන ලිපිනයට හෝ ඊමේල් හරහාccid@police.lk වෙත පැමිණිල්ල යොමු කළ හැක.

  • මෙවැනි සිද්ධීන් නිසා ඔබ මානසිකව ව්‍යාකූල තත්ත්වයකට පත් වී ඇත්නම් 1926 (ජාතික මානසික සෞඛ්‍ය ආයතනය) හෝ සුමිත්‍රයෝ අමතන්න.

Post a Comment

0 Comments