හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ඔන්ලයින් සහකරු

මෙහි එන නම් ගම් මනංකල්පිතයි




මීට වසර දෙකකට පෙර හටගත් පවුල් ආරවුල් හේතුවෙන් රේණු තම ස්වාමිපුරුෂයාගෙන් වෙන් වූ නිසා තම දරුවා ඇති දැඩි කිරීම සඳහා ඇයට තනිවම ජීවිතය වෙනුවෙන් සටන් කිරීමට සිදු විය. ඊට පිළියමක් ලෙස ඇය දරුවාව සිය මව භාරයේ තබා රැකියාවක් සඳහා විදේශගත වීමට තීරණය කළා.

කාලය ගෙවී යාමත් සමඟ ඇයගේ සියලු උත්සාහයන් මල් ඵල ගන්වමින් අදාළ සමාගමේ ස්ථිර සේවිකාවක් බවට පත්වීමට රේණුට හැකි වුණා. මෙමඟින් ඇගේ දරුවාගේ නඩත්තුව සඳහා අවශ්‍ය මුදල් එවීමටද ඇයට හැකි වුණා. බොහෝ කලකට පසු, ඇයට සෑම දෙයක්ම තනිවම කර ගත හැකි වීම ගැන සතුටක් දැනුණා. කෙසේ වෙතත්, රේණුගේ වයස්ගත මව වරින් වර අසනීප වීම නිසා තම දරුවා රැකබලා ගැනීමට මවගේ සහාය දිගටම ලබා ගත නොහැකි බව ඇයට තේරුම් යන්නට පටන් ගත්තා.

මේ අතරතුර ඇය සිය මිතුරන් හා ඥාතීන් සමඟ සම්බන්ධතා දිගටම පවත්වා ගැනීම සඳහා ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කළා. තම ජීවිතය ශක්තිමත්ව ඉදිරියට යන බව සෑම කෙනෙකුටම පෙන්වීම සඳහා රේණු ඇගේ ලස්සන හා සිත් ඇදගන්නා සුළු පින්තූර එහි පබ්ලික් ඕනෑම අයෙකුට දැකිය හැකි ලෙස (පබ්ලික්) අප්ලෝඩ් කළා. රේණුගේ දියුණුව සුන්දරත්වය දැක නාඳුනන පුද්ගලයින් පවා ඇගේ ගිණුම අනුගමනය (ෆලෝ) කරන්නට ගත්තා. එහිම ප්‍රතිඵලයක් ලෙස දිනපතා ඇයට හැම තැනින්ම මිතුරු ඉල්ලීම් (ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට්) ලැබුණා.

වැඩ නිමවී ගෙදර එන රේණුට තම නිවසේ වැඩි වැඩක් කරන්න තිබුණේ නැති නිසා ඇය වැඩි කාලයක් ෆේස්බුක් සහ යූටියුබ් එකේ ගත කළා. ඔන්ලයින් චැට් කරන්නත් කැමති අය ගොඩක් හිටපු නිසා ඇයට තනිකමක් දැනුනේ නෑ. මේ අස්සේ කවීන් කියලා කොල්ලෙක් ඕනෑවට වඩා තමන්ට සමීප වෙන්න උත්සහ කරන බව ඇයට තේරෙන්න ගත්තේ ඔහුගේ ප්‍රේමනීය චැට්වලින්;


කවීන්:  ඉතින්, ඔයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්නවද?

රේණු:  මට දැන් අවුරුදු 7 ක පුතෙක් ඉන්නවා ..

කවීන්:  පුතෙක් විතරක්? හස්බන්ඩ් කෙනෙක් නැතිව??

රේණු:  අපි වෙනම ජීවත් වෙන්නේ ..

කවීන්: අනේ සොරි, ඔයා හරි තරුණ පාටයි. බබෙක් ඉන්නවා කියලා කොහොමටවත් කියන්න බෑ JJ ඔයා මොනාද අනේ කරන්නේ ෆිගර් එක ඔච්චර ලස්සනට තියා ගන්න?

—————————————————————————————

කවීන්:  ඔයාගෙන් දෙයක් අහන්නද තරහ වෙන්නැත්තං?

රේණු:  ඕනේ දෙයක් අහන්න..


කවීන්:  මං හිතන්නේ මං ඔයාට කැමතියි. ඔයා මාත් එක්ක ඉන්න කැමති නම්, හැමදාටම ආදරය කරන්න පොරොන්දු වෙනවා. ඔයාගේ පුතාවත් මගේ වගේම බලා ගන්නම්. ඔයා හොඳට හිතලා බලලා තීරණයක් ගන්න. මං බලන් ඉන්නවා ඉක්මනින් සුබදායී පිළිතුරක් ලැබෙයි කියලා!

රේණු අන් අය ඉදිරියේ සතුටින් සිටින බව පෙන්වා තම ගැටළු සැඟවීමට උත්සාහ කළද, ඇයට සහ විශේෂයෙන් ඇගේ දරුවාට සතුටින් එකට ජීවත්වීමට පිරිමියෙකුගේ රැකවරණය හා ආදරය අවශ්‍ය බව ඇගේ හදවත පිළිගත්තා. කවීන් සැමවිටම ඇයට කරුණාවන්ත වූ අතර තෑගි ගොඩක් සමඟ වරක් තම පුතා බැලීමටද ගොස් තිබුණා. ඇගේ කලින් සැමියා සමඟ සසඳන විට රේණුට කවීන්ව ප්‍රතික්ෂේප කරන්න බැරි වුණා. අන්තිමට රේණු ඇගේ කැමැත්ත ඔහුට දුන්නා. පෙම් යුවළ රටවල් දෙකක ජීවත් වූ නිසා, ඔවුන් බොහෝ විට එකිනෙකා වෙත වූ ආදරය හා හැඟීම් ඔන්ලයින් චැට් මෙන්ම වීඩියෝ ඇමතුම් හරහා බෙදා හදා ගත්තා.

මාසයකට පමණ පසු කවීන්ට මූල්‍යමය අඩුපාඩුකම් ඇති වූ අතර තමන්ගේම කියා ව්‍යාපාරයක නිරත වීමට මුදල් අවශ්‍ය විය. මෙහිදී රේණු තම ස්වර්ණාභරණ උකස් කර ඇගේ අනාගත සහකරුට සල්ලි දෙන්න දෙවරක් සිතුවේ නෑ. කවීන් අලුත් බිස්නස් වැඩත් එක්ක රේණු සමඟ චැට් කිරීමට කාලය සොයා ගත්තේ කලාතුරකින්. රේණු ඔහුට දුරකථන ඇමතුමක් දුන් විට පවා ඔහු බොහෝ විට පැවසූ දෙය නම්,


රේණු මං දැන් බිසී, පස්සේ කෝල් කරන්නම්

 මම වැඩක ඉන්නේ ඩිය, ඔයාට පස්සේ කතා කරන්නම්

මං ඉක්මනටම ඔයාගේ සල්ලි ආපහු දෙන්නම්. පරිස්සමෙන්!


ඔහු පස්සේ අමතන්නම් කියා කිව්වත් කවදාවත් නින්දට යන්න පෙර හෝ ඇයව ඇමතීමට තරම් සැලකිලිමත් වුණේ නෑ. සමහර විට ඔහු තුළ තමා කෙරෙහි ඇති උනන්දුව ටිකෙන් ටික නැති වේ දැයි සිතා රේණුට බියක් දැනුණා. ඇය වද වුණේ ඔහුට දුන් මුදල් ගැන නොව ඇයට මඟ හැරුණු සැලකිල්ල ගැනයි. කවීන්ගේ මෙම වෙනස් හැසිරීමට හේතුව ඇයට තේරුණේ නෑ. රේණු ඔහු ගැන වැඩි විස්තර සොයා බැලීමට තීරණය කළ අතර ඒ සඳහා ඇගේ මිතුරිය වන අයෝමිගේ සහය පැතුවා. කවීන් කියන්නේ ඔන්ලයින් තනිකඩව ඉන්න ගැහැණුන්ට බොරු ආදරයක් පෙන්වා වශී කරගෙන පසුව මුදල් කඩා වඩා ගන්නා මිනිහෙක් බව අයෝමි රේණුට ප්‍රත්‍යක්ෂ කර දුන්නා. මෙය අදහා ගත නොහැකිව රේණු කම්පනයට හා කෝපයට පත් වී එවෙලෙම තමන්ව මෙලෙස රැවැට්ටුවේ ඇයි දැයි අසා ඔහුට මැසේජ් කරා. ඉන්පසුව, ඔහුගේ දුරකථන අංකය සම්බන්ධ කර ගත නොහැකි විය. ඔහු රේණුව තම ෆේස්බුක් ගිණුමෙන්ද අවහිර කර තිබුණා. රේණුට තම මුදල් පවා වංචා කළ එම පිළිකුල් ආදරය ගැන ඇති වූ ලැජ්ජාව, අවනම්බුව කෙතරම්ද කිව්වොත් ඇයට සියදිවි නසා ගැනීමටද සිතුණා. ඒත් ඇයගේ පුතා නිසා ඇයට මේ ලෝකය අත් හරින්න බැරි වුණා.

අයෝමි ඇයට හිතවතී අමතා උපදෙසක් ගන්නා ලෙස යෝජනා කළා. අයෝමි පැවසූ පරිදි රේණු තමාට සිදු වූ දේ ගැන හිතවතීට කිව්වා. රේණු මුහුණ දුන් ගැටලුව පිළිබඳව විමර්ශනය කර අදාළ වැරදිකරුට එරෙහිව නිසි පියවර ගැනීම සඳහා සී.අයි.ඩී. සමාජ මාධ්‍ය පැමිණිලි අංශයට dir.cid@police.lk ඊමේල් හරහා පැමිණිලි කරන ලෙස හිතවතී ඇයට උපදෙස් දුන්නා. තවද, රේණු පොලීසිය සමඟ කෙලින්ම ගනුදෙනු කිරීමට අකමැති නම් අවශ්‍ය නීතිමය උපදෙස් මෙන්ම සිද්ධිය හමුවේ මානසිකව කඩාවැටීමට ලක්ව ඇත්නම් ප්‍රතිකාර ලෙස සුදුසු මනෝ විද්‍යා උපදේශනය නොමිලේ ලබා ගැනීම සඳහා කාන්තා පිහිට (WIN) ආයතනය අමතන ලෙස හිතවතී ඇයට දැනුම් දුන්නා. අවසානයේ රේණු තමන්ගේ තත්ත්වය තේරුම් ගෙන පහසු විකල්පයන් පවා ඉදිරිපත් කල හිතවතී වෙත සිය ස්තූතිය පිරිනැමුවා.


පූර්ව ආරක්ෂක උපදෙස්: 

  • ඔබ පබ්ලික් (ඕනෑම අයෙකුට දැකිය හැකි ලෙස)අප්ලෝඩ් හෝ ශෙයා කරන පින්තූර / වීඩියෝ කිසිදු ආකාරයකින් ඔබට හානියක් නොවන බවට වග බලා ගන්න. (උදා: ව්‍යාජ ගිණුම් නිර්මාණය කිරීමට, සතුරන් විසින් අනිසි ලෙස භාවිතා කිරීමට)
  • නොදන්නා මිතුරු ඉල්ලීම් (ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට්) පිළිගැනීමෙන් වැළකී සිටීම වඩා හොඳය.
  • ඔබ ඔන්ලයින් චැට් කරන්නේ කා සමඟද යන්න ගැන සැලකිලිමත් වන්න, හේතුව ඔවුන්ගේ අරමුණ කුමක්ද(කාලය ගෙවීමටද, වංචාවටද යනාදී) පිළිබඳව අපි නොදැනුවත් විය හැකියි.
  • ඔබ මෙවැනි තත්වයකට පත් වූඅසරණ කාන්තාවක් නම් නොමිලේ නීති උපදෙස් හෝ මනෝ විද්‍යා උපදේශනය සඳහා කාන්තා පිහිට (WIN) ආයතනය අමතනන්න.
  • සයිබර් අපරාධයක් සම්බන්ධව පැමිණිල්ලක් ඇත්නම් ඒ බව පැහැදිලිව අදාළ සාක්ෂි (නිවැරදි ලින්ක්, ස්ක්‍රීන්ෂොට් යනාදිය) සහිතව සඳහන් කර CID එකට ගොස් භාර දිය හැක. නැතහොත් ලියාපදිංචි තැපෑලෙන් “අධ්‍යක්ෂ, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01” යන ලිපිනයට හෝ ඊමේල් හරහා cid@police.lkවෙත පැමිණිල්ල යොමු කළ හැක.

Post a Comment

0 Comments