හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

තාත්තාගේ ඉස්පිරිතාල බිල

 මෙහි සඳහන් සියලු නම් සහ ස්ථාන මනඃකල්පිතයි.


රෑ දොළහට කිට්ටු වෙද්දී මායාගේ ෆෝන් එකට එක දිගට නොටිෆිකේෂන් එන්න පටන් ගත්තා. එකක් ඉවර වෙන්නත් කලින් තවත් මැසේජ් එකක් එනවා.

ඒ අතරේ මායාගේ හොඳම යාළුවාත් මැසේජ් එකක් එවලා තිබුණා.

“මායා, ඔයාගේ තාත්තට මොකද වුණේ? එයා හොඳින් නේද?”

එකපාරටම මායාට මුකුත් හිතාගන්න බැරි වුණා.

“ඇයි? ඔයා මොකක් ගැනද කියන්නේ?”

ඊට පස්සේ යාළුවා මායාට ස්ක්‍රීන්ෂොට් එකක් එව්වා. ඒක දැකපු මායා පුදුම වුණා.

මායාගේ WhatsApp එකෙන් ඇයගේ යාළුවෝ කිහිපදෙනෙකුටම මේ වගේ මැසේජ් යවලා තිබුණා.

“මගේ තාත්තට ඉක්මනින් වකුගඩුවක් බද්ධ කරන්න ඕනේ වෙලා තියෙනවා. ඒකට අවශ්‍ය සල්ලි අපි ඉක්මනට හොයාගන්න ඕනේ. මේ වෙලාවේ මම ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. ඔයාට පුළුවන් නම් පොඩි ගාණක් හරි මේ එකවුන්ට් එකට දාන්න. මේ විදිහට සල්ලි ඉල්ලන්න වුණාට සමාවෙන්න.”

ඒ මැසේජ් එකට මායාගේ තාත්තාගේ ෆොටෝ එකකුත් දාලා තිබුණා. හැබැයි මායා එහෙම කිසිම දෙයක් කාටවත් යවලා තිබුණේ නැහැ.

මායා ඉක්මනින්ම එයාගේ WhatsApp චැට් බලන්න පටන් ගත්තා. ඒ මැසේජ් එකම එයාගේ නෑදෑයන්ට, කැම්පස් යාළුවන්ට, වැඩ කරන තැන අයට විතරක් නෙවෙයි, මාස ගාණකින් කතා කරලා නැති අයටත් යවලා තිබුණා.

ඔය අතරේ මායාගේ නෑදෑ සහෝදරයෙක් කෝල් එකක් ගත්තා.

“මායා, මම දැනටමත් රුපියල් ලක්ෂයක් දැම්මා. මම හිතුවේ ඔයා ලොකු කරදරයක වැටිලා කියලා.”

ඒක අහලා මායා හොඳටම බය වුණා. මායා ඉක්මනින්ම එයාට කිව්වා තවත් සල්ලි දාන්න එපා කියලා. ඒ වගේම පවුලේ අනිත් අයටත් මේ ගැන දැනුම් දුන්නා.

මායාට තිබුණු ලොකුම බය තමයි මේ දේ කොහොම සිද්ධ වුණාද කියලා එයාට හිතාගන්න බැරි වුණු එක.

මායා කිසිම සැක සහිත ලින්ක් එකක් ක්ලික් කරලා තිබුණේ නැහැ.

එයා කාටවත් OTP කෝඩ් එකක් දීලා තිබුණෙත් නැහැ.

QR කෝඩ් එකක් ස්කෑන් කරලා තිබුණෙත් නැහැ.

එයාගේ පාස්වර්ඩ් එක කාටවත් කියලා තිබුණෙත් නැහැ.

මොකක්ද මේ වෙන්නේ කියලා මායා හොයමින් ඉන්න අතරේ, එයාගේ එකවුන්ට් එකෙන් තවත් මැසේජ් එකක් යවලා තිබුණා.

“අනේ මට කෝල් කරන්න එපා. මම මේ වෙලාවේ ඉස්පිරිතාලේ වැඩවලට හිරවෙලා ඉන්නේ.”

ඒ වෙලාවේ තමයි මායාට තේරුණේ වෙන කවුරුහරි එයාගේ WhatsApp එක පාවිච්චි කරනවා කියලා.

මේකට කරන්න ඕනේ මොනවද කියලා අන්තර්ජාලයේ හොයද්දී මායාට හිතවතී දැනුවත් කරන වීඩියෝවක් හම්බ වුණා. මායා හිතවතී එකට කතා කරලා සිද්ධ වුණ හැමදේම පැහැදිලි කළා.

හිතවතී මායාට පැහැදිලි කළේ, එයාගේ WhatsApp එකට සයිබර් ප්‍රහාරයක් හරහා වෙන කෙනෙක් ඇතුළු වෙලා තියෙන්න පුළුවන් කියලයි. ඒ කියන්නේ මායා සැක සහිත ලින්ක් එකක් ක්ලික් නොකළත්, වෙනත් සැක සහිත දෙයක් නොකළත්, ඇප් එකේ හෝ ෆෝන් එකේ තියෙන ආරක්ෂක දුර්වලතාවක් ප්‍රයෝජනයට අරගෙන මේ වගේ දෙයක් කරන්න පුළුවන්.

එයාට උපදෙස් දුන්නේ WhatsApp එක නැවත ලබාගන්න පුළුවන් ක්‍රම කිහිපයක් අත්හදා බලන්න කියලයි. ඒ වගේම එකවුන්ට් එකේ ආරක්ෂාව වැඩි කරගන්න, සම්බන්ධ වෙලා ඉන්න වෙනත් උපාංග ඉවත් කරන්නත් උපදෙස් දුන්නා. මීට අමතරව ආරක්ෂක සැකසුම් හරි විදියට ක්‍රියාත්මක කරගන්නත් කියලා දුන්නා.

සල්ලි ඉල්ලලා එන මැසේජ්වලට පිළිතුරු දෙන්න එපා කියලා යාළුවන්ට කියන්නත් කිව්වා. ඒ වගේම වැඩිදුර තාක්ෂණික සහාය ලබාගන්න අදාළ ආයතනවලට මේ සිද්ධිය වාර්තා කරන්නත් උපදෙස් දුන්නා.

ආරක්ෂා වෙන්න මේ දේවල් මතක තියාගන්න:

  • WhatsApp යෙදුම, ඔයාගේ ෆෝන් එක වගේම අනිත් ඇප් නිතරම යාවත්කාලීන (Update) කරලා තියාගන්න.
  • WhatsApp එකේ දෙපියවර සත්‍යාපනය (Two-Step Verification) ක්‍රියාත්මක කරන්න.
  • WhatsApp එකට සම්බන්ධ වෙලා තියෙන උපාංග ගැන නිතරම අවධානයෙන් ඉන්න. ඔයා නොදන්න උපාංගයක් සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒක ඉවත් කරන්න.
  • කවුරුහරි හදිසියේ සල්ලි ඉල්ලලා මැසේජ් එකක් එව්වොත්, සල්ලි යවන්න කලින් ඒ ගැන හොයලා බලන්න. ඒ පුද්ගලයාට වෙනත් විදියකින් කතා කරලා ඇත්තටම සල්ලි ඉල්ලුවේ එයාද කියලා තහවුරු කරගන්න.
  • ඔයාගේ එකවුන්ට් එකෙන් ආවත් අමුතු හෝ සැක සහිත මැසේජ් විශ්වාස කරන්න එපා කියලා යාළුවන්ටත් පවුලේ අයටත් දැනුම් දෙන්න.
  • සැක සහිත දෙයක් දැක්කොත් හැකි ඉක්මනින් ඒ ගැන වාර්තා (Report) කරන්න.
  • ඔයාගේ එකවුන්ට් එක වෙන කෙනෙක් අතට ගිහින් නම්, විශ්වාසදායක ආයතනයකින් උදව් ලබාගන්න.


Post a Comment

0 Comments