මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.
ලිමාෂි මෑතකදී පාසල් ගමන අවසන් කරපු කෙනෙක්. එයා පොඩි (මූලික කාර්යයන් සහිත) ජංගම දුරකථනයක් තමයි පාවිච්චි කරේ. පාසලෙන් අයින් වෙනවත් එක්කම ලිමාෂිට හිතුනා එයාගේ අනිත් යාලුවෝ වගේ ස්මාට් ෆෝන් එකක් ගන්න. එයා ෆෝන් හොය හොයා පත්තරවල දැන්වීම් බැලුවත්, ඒවා ගාන වැඩි නිසා ගන්න බෑ කියලා තමයි ලිමාෂිට හිතුනේ, මොකද එච්චර සල්ලි එයා ලඟ නැති නිසා.
ඔන්න එක දවසක්, එයාගේ නෑදෑ අයියා කෙනෙක් ලිමාෂිට කිව්වා පාවිච්චි කරපු හොඳ ෆෝන් විකුණන ෆේස්බුක් පිටු තියනවා කියලා. එහෙම පේජ් කීපයක ලින්ක් ලිමාෂිට දුන්නා. ලිමාෂි එයාගේ අයියාගේ කම්ප්‍යුටරෙන් ෆේස්බුක් ලොග් වෙලා ෆෝන් එකක් හොයාගන්න කියලා ඒ පිටුවලට ගිහින් බැලුවා.
එයාට හම්බවුනා එක දැන්වීමක්. ඒකේ දාලා තිබුන ෆෝන් එක, සඳහන් කරලා තිබුන ගානට වටිනවා කියලා තමයි ලිමාෂිට හිතුනේ. ෆෝන් එක විකුණන තැනට ඒක ගන්න කැමතියි කියලා ලිමාෂි මැසේජ් කරා. ඒකේ ගාන රු. 60,000/- ක් වුනා.
ලිමාෂිට මේක ගන්න සල්ලි තිබ්බේ නෑ. ඒත් එයාට ඒක තදින්ම ඕන වුන නිසා, එයා විස්තරය අම්මට කිව්වා.
ලිමාෂි – අම්මා මට ඒ ෆෝන් එක කොහොම හරි ඕන
ලිමාෂිගේ අම්මා – ඒත් පුතේ මං ගාව එච්චර සල්ලි නෑනේ
ලිමාෂි – මගේ යාලුවෝ හැමෝටම ස්මාට් ෆෝන් තියෙනවා, මං විතරයි ගොඩයා වගේ පරණ ෆෝන් එකක් පාවිච්චි කරන්නේ. මට හරිම ලැජ්ජයි. අනේ මොකක්ද අම්මේ..
අම්මගේ හිත උණු වුනා මේක අහල. දුව පරණ ෆෝන් එකට නිතරම දොස් කියන නිසා දුවට සල්ලි දෙන විදියක් ගැන අම්මා කල්පනා කළා.
ලිමාෂිගේ අම්මා එයාගේ මාලේ උකස් කරලා දුවට ඕන සල්ලි ටික දෙන්න තීරණය කළා. හැබැයි එයා දුවට කිව්වා මුලින්ම ෆෝන් එකට සල්ලි භාගයක් දීලා ඉතිරි ටික ෆෝන් එක අතට හම්බවුනාම දෙන්න කියලා.
අම්මා කියපු විදියට ලිමාෂි ෆෝන් විකුණන කෙනා දුන්න ගිණුමට රු. 30,000/- ක් දැම්මා.
ලිමාෂි පුදුම ආසාවකින් හිටියේ ස්මාර්ට් ෆෝන් එක ලැබෙන තුරු. දවස් ගත වුනා. ඒත් එයාට ෆෝන් එක නම් හම්බවුනේ නැහැ. එයා ෆෝන් විකුණපු මනුස්සයාට කථා කරන්න බැලුවා. ඒත් කිසිම විදියකින් එයාව සම්බන්ධ කර ගන්න බැරි වුනා.
ලිමාෂිට කර කියා ගන්න දෙයක් නැතුව හිටියේ. ඒ නිසා එයා මේ කථාව එයාගේ යාළුවෙක්ට කිව්වා. ලිමාෂිගේ යාළුවා හිතවතී ගැන අහලා තිබුන නිසා එයා කිව්වා හිතවතී ට කතා කරලා මේ සිද්ධිය කියන්න කියලා.
ලිමාෂි හිතවතීට කතා කරා. හිතවතී නිළධාරිනියක් එයාගේ කථාවට හොඳින් ඇහුම්කන් දීලා ලිමාෂි බලාපොරොත්තු වුන මඟපෙන්වීම එයාට ලබා දුන්නා. ඒ වගේම මේ දවස්වල බහුල ඔන්ලයින් වංචා (ස්කෑම්) ගැනත් එයාට පැහැදිලි කරලා දීලා ඉස්සරහට මේ වගේ දේවල් වලින් බේරිලා ඉන්නේ කොහොමද කියලත් විස්තර කරලා දුන්නා.
පූර්වාර්ක්ෂක ඉඟි:
- ඔන්ලයින් වෙළඳ දැන්වීම් සහ ඔන්ලයින් වෙළඳසැල් සෑම විටම කියන විදියට ක්‍රියාත්මක වෙන ඒවා නොවන බැවින් ඒවා ගැන සැලකිලිමත් වන්න. ඔබ අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට පෙර ආරක්ෂිත උපදෙස් ගැන දැනුවත් වන්න.
- මේ දිනවල Non-delivery scams (බෙදාහැරීම සිදු නොවන) වංචා ගැන බහුලව අසන්නට ලැබෙන බැවින් ජනප්‍රිය නොවන වෙබ්අඩවි වලින් අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබට අවදානමක් ගැනීමට සිදුවේ. ඔන්ලයින් සාප්පු සවාරි (ෂොපිං) යාමේදී ඔබට “කැෂ් ඔන් ඩිලිවරි” (භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ) සේවාවක් තෝරාගත හැක.
- සයිබර් අපරාධයක් සම්බන්ධව පැමිණිල්ලක් ඇත්නම් ඒ බව පැහැදිලිව අදාළ සාක්ෂි (නිවැරදි ලින්ක්, ස්ක්‍රීන්ෂොට් යනාදිය) සහිතව සඳහන් කර CID එකට ගොස් භාර දිය හැක. නැතහොත් ලියාපදිංචි තැපෑලෙන් “අධ්‍යක්ෂ, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01” යන ලිපිනයට හෝ ඊමේල් හරහා dir.ccid@police.lk වෙත පැමිණිල්ල යොමු කළ හැක.dir.cid@police.lk වෙත පැමිණිල්ල යොමු කළ හැක.
 

 
 
 
 
0 Comments