හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

OTP කලබගෑනිය


දිමන්ත හරිම කලබලයෙන් හිතවතීට කෝල් එකක් ගත්තේ එයාගෙ අම්මා ලොකු කරදරේක පැටලිලා කියලා හිතුන නිසා. එයාට අවශ්‍ය වුණේ වහාම කරන්න ඕන මොකක්ද කියලා දැනගන්න. දිමන්ත ඔහුගේ අම්මා මුහුණ දුන් ප්‍රශ්නය ගැන හිතවතීට පැහැදිලි කරා. හිතවතී දිමන්තට හොඳින් ඇහුම්කන් දුන්නා.

දිමන්ත: අපේ අම්මාට එච්චරම ෆෝන් එක හුරු නැහැ. ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා වලටයි කෝල් ගන්නයි තමයි ඒක පාවිච්චි කරන්නෙ.

හිතවතී: හරි.. මොකක්ද වුණේ?

දිමන්ත: මගේ පරණ කැමරා එකක් තිබ්බා. මම ඕක විකුණන්න xxxx.lk එකේ දැම්මා. මගේ ෆෝන් නම්බර් එකත් දැම්මා ඇඩ් එකට. නුවර ඉඳලා කෙනෙක් කතා කරලා කිව්වා කැමරා එක ගන්න ඕන කියලා. මාත් හරිම ආසාවෙන් හිටියෙ, මොකද මට ඉක්මනට සල්ලි වගයක් ඕන වෙලා තිබ්බ නිසා.

දිමන්ත කැමරා එක ගන්න ආපු කෙනත් එක්ක වුන කථාවත් කිව්වා.

ගැනුම්කරු:මම xxxxxx බෑන්ක් එකට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්නද? මට ඒක ලේසියි, මොකද මට තියෙන්නේ xxxxxx බෑන්ක් අකවුන්ට් එකක්.

දිමන්ත: මං ගාව නම් නෑ, හැබැයි පොඩ්ඩක් ඉන්න අපේ අම්මා ගාව තියෙන්නෙ xxxxxx බෑන්ක් අකවුන්ට් එකක්.

ගැනුම්කරු: ආ ඒක හොඳයි මට අකවුන්ට් විස්තර එවන්නකො, අම්මගෙ ෆෝන් නම්බර් එකත් එවන්න.

ඉල්ලපු ඔක්කොම විස්තර ටික යැව්වා කියලා දිමන්ත හිතවතීට කිව්වා. දිමන්ත ගෙදර නැති වෙලාවේ එයාගෙ අම්මට දන්නෙ නැති කෙනෙක්ගෙන් මැසේජ් එකක් ඇවිත්. ඒ මැසේජ් එකේ ලින්ක් එකක් දාලා “සල්ලි හම්බ වුණාද? පොඩ්ඩක් බලලා කියන්න” කියලා තිබුණා. දිමන්තගේ අම්මා දැක්ක ගමන් ලින්ක් එක ක්ලික් කරලා. ඒ වෙලාවේදීම එයාට කෝල් එකකුත් ඇවිත්. ෆෝන් ලයින් එකේ හිටපු කෙනා දිමන්තගේ අම්මාට ෆෝන් එකට ආපු කෝඩ් / OTP එක මොකක්ද කියලා අහලා. වැඩිදුර හිතන්නෙ නැතුව දිමන්තගේ අම්මා කෝඩ් එක කෝල් එකේ හිටපු කෙනාට කියලා, සල්ලි දාපු එක ගැන වැඩි විස්තර දැනගන්න වුවමනාවෙන්.

ටික වෙලාවකට පස්සේ දිමන්තගෙ අම්මට xxxxxx බැංකුවෙන් මැසේජ් එකක් ආවා එයාගෙ බැංකු ගිණුමෙ තිබ්බ සල්ලි ටික ඔක්කොම අරගෙන, රු.1000/- යි ඉතිරි වෙලා තියෙන්නෙ කියලා.

මේ සිද්ධිය විස්තර කරපු දිමන්තට දැනගන්න ඕන වුණේ ඊළඟට මොකක්ද කරන්න ඕන කියලා. මේ දවස්වල සුලභ වංචා ගැන හිතවතී දිමන්තට පැහැදිලි කරලා දුන්නා. එයාගෙ අම්මා හසුවූ ස්කෑම් වර්ගය ගැනත් පැහැදිලි කරා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සමඟ දුරකථන හෝ ඊමේල් මාර්ගයෙන් සම්බන්ධ වෙන්න කියලත් උපදෙස් දුන්නා.


පූර්වාරක්ෂක ඉඟි:

  • වංචාකරුවන් ඔබේ දත්ත සහ අනන්‍යතාවය සොරකම් කිරීමට සබැඳි (ලින්ක්) භාවිත කරන බැවින්, අනාරක්ෂිත ලින්ක් මත ක්ලික් කරන්න එපා.

  • කිසිවිටෙක ඔබගේ OTP, PIN, මුරපදය (පාස්වර්ඩ්), හෝ කිසිදු රහස්‍ය තොරතුරක් කිසිවෙකුට නොකියන්න.

  • ඔබට සයිබර් වංචාවක්, සයිබර් හිරිහැරයක් හෝ වෙනත් සයිබර් ආශ්‍රිත ගැටලුවක් සම්බන්ධයෙන් උදවු අවශ්‍ය නම්, මඟ පෙන්වීම සඳහා හිතවතී හා සම්බන්ධ වන්න.

  • ඔබට මුදල් වංචාවකට මුහුණ පෑමට සිදු වුවහොත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සමඟ (දුරකථනය: 011 238 1045, ඊමේල්: dir.ccid@police.gov.lk) හෝ ශ්‍රී ලංකා පොලීසිය (ක්ෂණික ඇමතුම් අංකය: 119, ඔන්ලයින් පැමිණිලි සඳහා වෙබ් දිගුව: www.telligp.police.lk , වෙබ්අඩවිය: https://www.police.lk) සමඟ සම්බන්ධ වෙන්න).

Post a Comment

0 Comments