හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

අනපේක්ෂිත ඊමේල් පණිවුඩය හමුවේ ලිහා ගන්න බැරි ප්‍රශ්න වැලක්

මෙහි එන නම් ගම් මනංකල්පිතයි



සංඛ, විනෝදයට බර සැහැල්ලුවෙන් කල් ගෙවූ තරුණයෙකි. ඔහු විවේකයක් ලද බොහෝ විට අන්තර්ජාලයේ සැරිසරමින් කාලය ගෙවා දැමීමට පුරුදුව සිටියා. ඒ අතුරින් ඔහු වැඩි කැමැත්තක් දැක්වූයේ අන්තර්ජාලය හරහා තමන් නොදන්නා බොහෝ දේ දැන ගැනීමටයි.

එක් උදෑසනක් සංඛ ඔහුගේ ඉ-මේල් පරීක්ෂා කරමින් සිටියදී ඔහුට අමුතු වර්ගයේ ඉ-මේල් පණිවිඩයක් හමු විය.


එහි සිංහල පරිවර්තනය පහත පරිදි වේ;

“හායි! අවාසනාවට වගේ ඔයාට නරක ආරංචියක් කියන්න තියෙනවා.

මාස කිහිපයකට කලින්, ඔයා ඉන්ටනෙට් යන්න පාවිච්චි කරපු උපාංගයකට (device) මට පිවිසෙන්න පුලුවන් වුණා. එතැන් සිට, මම ඔයා ඉන්ටනෙට් එකේ කරන කියන දේ හොඳින් නිරීක්ෂණය කරා. වැඩිහිටි වෙබ්අඩවිවලට නිතරම පිවිසෙන ඔයාම තමයි මේකට වග කියන්න ඕනේ. සරලවම කිව්වොත් ඒ වෙබ්සයිට් එකකින් තමයි මම ඔයාගේ දත්ත ගත්තේ.

මම ට්‍රෝජන් හෝස් එකක් අප්ලෝඩ් කරලා ඇන්ටි-වෛරස් සොෆ්ට්වෙයා එකකටවත් අල්ල ගන්න බැරි විදිහට දිනකට කීප වතාවක් එහි අත්සන යාවත්කාලීන කරා. ඒ හරහා මට ඔයාගේ කැමරාවට සහ මයික්‍රෝෆෝනයට ප්‍රවේශය ලබා ගන්න පුලුවන් වුණා. තව ඔයාගේ ඡායාරූප, සමාජ මාධ්‍ය, චැට් සහ සම්බන්ධතා ඇතුළු සියලු දත්ත මම බැකප් කරලා තියෙන්නේ.

මෑතකදී ඔයා තිරයේ එක පැත්තක සරාගී විදිහට ඉන්න අතරේ අනිත් පැත්තෙත් හොඳ සෙල්ලම් වෙන වීඩියෝ එක හදන්න මට නියම අදහසක් ආවා. ක්ලික් කීපයකින් ඒ වීඩියෝ එක ඔයාගේ සබඳතා ලැයිස්තුවේ (contact list) ඉන්න ඔක්කොටම යවන්නත් පුලුවන්. ඒක හැමෝටම ආතල් වෙයි!

ඒත් ඔයා එහෙම ලීක් කර ගන්න කැමති නැති වෙයි කියලා මම හිතනවා. ඒකට මම යෝජනා කරන්නේ US$1400 ට සමාන මුදලක් මගේ බිට්කොයින් පසුම්බියට දාන්න කියලා. එතකොට මම සියල්ල අමතක කරන්නම්. තව ඒ සියලුම දත්ත සහ වීඩියෝ ස්ථිරවම ඩිලීට් කරන්නම්. මේක සාධාරණ ගාණක්. ගූගල් හෝ බිං (bing) වැනි සෙවුම් යන්ත්‍ර භාවිතයෙන් ලේසියෙන්ම බිට්කොයින් මිලදී ගන්නේ කෙසේදැයි ඔබට දැන ගන්න පුලුවන්.

මගේ බිට්කොයින් පසුම්බිය (BTC): 18k4HBCtT6iYSY21y6cXy585zyLvSq7oSV

ඔයාට ලෑස්ති වෙන්න පැය 48 ක් තියෙනවා. හොඳින් මතක තියා ගන්න:

මේ ඊමේල් එකට රිප්ලයි කිරීම පළක් නෑ – ලිපිනය ස්වයංක්‍රීයව හදපු එකක්.

මගේ බිට්කොයින් පසුම්බිය හරහා මං ගැන හොයන්න බැරි නිසා පැමිණිලි කිරීම තේරුමක් නෑ.

මම හැම දෙයක්ම හරියට සැලසුම් කරලා තියෙන්නේ.

ඔයා මේ ලිපිය ගැන කාට හරි කියලා තිබ්බොත් – වීඩියෝව වහාම ඔයාගේ සබඳතාවලටත්, වෙබ් එකටත් දාන එක සහතිකයි!

සැ.යු. ඔබ මෙම ලිපිය විවෘත කළ පසු කාලය ආරම්භ වෙනවා. (මෙම මෘදුකාංගය ඉන්-බිල්ට් ටයිමරයක් සහිතයි).

මේක සරලව විසඳගන්න! ඔබට ජය! මෙවර ඔයාගේ අවාසනාව නිසා ඊළඟ වතාවේ කරුණාකර ප්‍රවේසමෙන් වැඩ කරන්න.”

ඇත්තම කිව්වොත්, ලිපියේ සඳහන් සමහර අන්තර්ගතයන් සත්‍ය විය. සංඛ බොහෝ කලකට පෙර ඔහුගේ ඊමේල් ලිපිනය භාවිතා කරමින් වැඩිහිටි වෙබ් අඩවි වෙත පිවිස තිබුණද ඔහුගේ ලිංගික වීඩියෝ නොමැති බව ඔහු හොඳින් දැන සිටියා.

කෙසේවෙතත්, සැබවින්ම තම උපාංගය (device) වෙත මෙම පුද්ගලයාට පිවිසිය හැකි නම්, තමන්ගේ උමතු නිරුවත් උඩුකය පින්තූර එඩිට් කර ව්‍යාජ වීඩියෝ නිර්මාණය කර තම සබඳතා (contacts) අතරේ බෙදා හරිනු ඇතැයි සංඛ බියෙන් පසු විය.

මේ අවුල ලිහා ගැනීමට දඟලමින් සිටි ඔහුට හිතවතී ෆේස්බුක් පිටුව මතක් වූ අතර වහාම හිතවතී අමතා තම ප්‍රශ්නයට උපදෙස් ලබා ගැනීමට ඔහුට සිතුණි. සංඛගෙන් ලද තොරතුරු මත, මෙය වංචනික ඊමේල් පණිවුඩයක් ලෙස පෙනෙන බැවින් ඊට ප්‍රතිචාර නොදක්වන ලෙස හිතවතී ඔහුට දන්වා සිටියා. තවද එවැනි වැඩිහිටි වෙබ් අඩවි වෙත තම ඊමේල් ලිපිනය ලබා දීමෙන් වළකින ලෙසටත් සහ ඒවායේ කුකීස් පිළිගැනීම (accept cookies) නතර කරන ලෙසටත් ඔහුට උපදෙස් දෙන ලදී. මෙම බ්ලැක්මේල් කිරීම සම්බන්ධයෙන් සංඛට ඇත්තටම බියක් දැනෙනවනම් www.telligp.police.lk හරහා ඔන්ලයින් පොලීසියට පැමිණිලි කරන ලෙස හිතවතී ඔහුට නිර්දේශ කළා.

හිතවතී හා සම්බන්ධ වීමෙන් සංඛට නොබියව ඉදිරියට යාමට තරම් විශ්වාසයක් ඇති වූ අතර ඔහු හිතවතී ලබා දුන් උපදෙස් පරිදි ක්‍රියා කළා. අවසානයේ ඔහු තමන්ව තේරුම් ගෙන ආරක්ෂිත මාවතකට යොමු කිරීම ගැන හිතවතී වෙත ස්තූති කළා.


පූර්ව ආරක්ෂක උපදෙස්:

  • මෙවැනි ස්කෑම් ඊමේල් වෙත ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්න.
  • වැඩිහිටි වෙබ්අඩවිවලට ලියාපදිංචි වීම සඳහා ඔබේ ඊමේල් ලිපිනය භාවිතා නොකරන්න, මන්ද එය ස්පෑම් / ස්කෑම් එවන්නන් වෙත නිරාවරණය විය හැකි බැවිනි.
  • ඔබේ දත්ත භාවිතයට ගන්නා කුකීස් පිළි නොගන්න (Do not accept cookies).
  • යාවත්කාලීන ප්‍රති-වයිරස් මෘදුකාංගයක් (up-to-date anti-virus software) ඉන්ස්ටෝල් කර ගන්න.
  • මෙවැනි බ්ලැක්මේල් කිරීම් / තර්ජනය කිරීම් හමුවේ ඔබට බියක් දැනේ නම් හෝ මේ පිටුපස ඇත්ත වශයෙන්ම සිටින්නේ කවුරුන්දැයි සොයා බලා එම පුද්ගලයාට දඬුවම් කිරීමට අවශ්‍ය නම් (නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට), ඔබ අයත් වන පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් දැමීම හෝ www.telligp.police.lk වෙබ් පිටුව හරහා ඔන්ලයින් පොලිසීයට පැමිණිලි කළ යුතුවේ. (category එක ‘cyber crime’ ලෙස තෝරන්න. අදාළ සාක්ෂි අමුණන්න)


Post a Comment

0 Comments