මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතයි.
කසුන් විශ්ව විද්‍යාල සිසුවෙක්. එයා මේ දවස් වල රැකියා පුහුණුවක් හොයන ගමන් හිටියේ. ගොඩාක් ආයතන වලට අයදුම් කරලා තිබුණත් ඒ එකකින්වත් එයාව තෝරාගෙන තිබුණේ නෑ. ඒ තනතුරු වලට දැනටමත් කට්ටියව බඳවාගෙන කියලා තමයි ඔවුන් කසුන්ට කිව්වේ.
එක හවස් වරුවක කසුන් ඉන්ස්ටග්‍රෑම් වල එහා මෙහා යද්දි, “පුහුණු රැකියා අවස්ථාවක් – සමාජ මාධ්‍ය සහ අන්තර්ගත නිර්මාණය” කියලා තිබුණ පෝස්ට් එකක් දැක්කා.
ඒ පෝස්ට් එක දාලා තිබුණ ආයතනයේ සමාජ මාධ්‍ය පිටුවත් නිල සමාජ මාධ්‍ය පිටුවක් වගේම තිබුණා. ආයතනයේ ලාංඡනය, කාලෙක ඉඳන් එක දිගට දාපු පෝස්ට්, සේවකයින්ගේ පින්තූර වගේම ගොඩාක් ෆලෝවර්ස් ලා හිටියා. බැලූ බැල්මට හැමදේම ඇත්තම වගේ තිබුණා.
කසුන් ඒ පෝස්ට් එකේ තිබුණ ලින්ක් එක ක්ලික් කරලා අයදුම් කළා.
ඊළඟ දවසේ එයාට වට්ස්ඇප් මැසේජ් එකක් ආවා.
“ආයුබෝවන් කසුන්, මම XYZ ආයතනයේ මානව සම්පත් කළමණාකරණ අංශයේ නදීෂා. ඔයාගේ අයදුම්පත අපේ රැකියා පුහුණු වැඩසටහනේ අවසන් වටයට තෝරාගෙන තියෙනවා.”
කෙටි ඔන්ලයින් ඉන්ටර්වීව් එකකින් පස්සේ, ඔහුට තවත් මැසේජ් එකක් ආවා.
“සුභ පැතුම්! ඔබව අපේ රැකියා පුහුණුවට තෝරගත්තා.”
කසුන් ගොඩාක් සතුටු වුණා. අන්තිමේදී එයා ආසාවෙන් බලන් හිටපු අවස්ථාව ලැබුණා.
මෙතනින් පස්සේ තමයි ප්‍රශ්නය පටන් ගන්නේ.
“ඔයාගේ තනතුර භාරගැනීම තහවුරු කරන්න ලියාපදිංචි ගාස්තුවක් ගෙවන්න අවශ්‍යයි. මෙම මුදල ඔයාගේ පළමු වැටුප් දීමනාව එක්ක නැවත ලැබෙනවා.”
ඒක ටිකක් අමුතුයි වගේ දැනුණත් මේ ලැබුණ අවස්ථාව නැති කරගන්න කසුන්ට අවශ්‍ය වුණේ නෑ. ඔහු ඒ මුදල් ගෙව්වා.
දවස් කීපයකට පස්සේ රැකියාවට යන්නත් කලින්ම අනිවාර්ය පුහුණු පැකේජයකට සල්ලි ගෙවන්න අවශ්‍යයි කියලා නැවත කිව්වා. ඒ ගෙවන මුදලත් නැවත ලැබෙනවා කියලා ඔවුන් කිව්වා.
කසුන් සල්ලි ගෙව්වා. ඒ එක්කම ළඟ ළඟම ප්‍රශ්නයක් සිද්ධ වෙන බව පේන්න ගත්තා. කසුන්ට රැකියාවට සම්බන්ධ වෙන්න නියමිත දිනය කල් ගියා. HR එකේ නදීෂාව සම්බන්ධ කරගන්නත් බැරි වුණා. ක්ෂණයකින් රිප්ලයි කරපු මැසේජ් වලට උත්තරත් නැතිවුණා.
අන්තිමට වට්ස්ඇප් අංකයෙන් කිසිම මැසේජ් එකක් ආවේ නෑ.
කසුන් ආයතනයේ ඉන්ස්ටග්‍රෑම් පිටුව බැලුවා. මේ රැකියා පුහුණු අවස්ථාව ගැන හෝ ඒකට සම්බන්ධ කරගත්ත පුද්ගලයෙක් ගැනවත් කිසිම සඳහනක් තිබ්බේ නෑ.
තමන් වංචාවකට අහුවෙලා කියලා කසුන්ට සැකයක් ඇතිවුණා. ඊටපස්සේ ඔහු යාළුවෙක්ට කතාකළා. ඒ යාළුවා මීට කලින් ඔන්ලයින් වංචා (ස්කෑම්) ගැන හිතවතී දැනුවත් කරන වීඩියෝවක් දැකලා තිබුණා. කසුන්ගේ කතාවෙන් පස්සේ හිතවතී සමඟ සම්බන්ධ වෙන්න කියලා ඔහු උපදෙස් දුන්නා. මැසේජ්, ගෙවපු රිසිට්, ස්ක්‍රීන්ශොට් වගේම ලින්ක් පරිස්සමට (save කරලා) තියාගන්නත් උපදෙස් දුන්නා. ඒ වගේම ඉක්මනින් මේ ගැන පොලීසියට පැමිණිලි කරන්නත් යොමුකළා.
මේ හැමදේටම පස්සේ කසුන් දැනගත්තා ඇත්ත ආයතන විදියට පෙනී ඉඳලා රැකියා හොයන අයව අල්ලගන්න තමයි මේ ඉන්ස්ටග්‍රෑම් පිටුව හදලා තියෙන්නේ කියලා.
බලාපොරොත්තු ඇති කරපු, හොඳ අවස්ථාවක් වගේ පෙණුන දේ ඇත්තටම රැකියාවට අයදුම් කරන අයගෙන් සල්ලි වංචා කරන්න හදපු සැලසුමක් කියලා පැහැදිලිව තේරුණා.
වංචාවලින් පරිස්සම් වෙන්න උපදෙස්
- රැකියාවකට තෝරගත්තට පස්සේ ලියාපදිංචි ගාස්තු, පුහුණු ගාස්තු වගේ දේවල් වලට සල්ලි ඉල්ලුවොත් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ සල්ලි ආයෙත් දෙනවා කියලා කිව්වත් දෙපාරක් හිතන්න.
- නිල සමාජ මාධ්‍ය පිටු හරහා ආයතනය වගේම රැකියා අවස්ථා තහවුරු කරගන්න.
- වෘත්තිමය විදියට තිබුණු ගමන් ඇත්ත කියලා විශ්වාස කරන්න එපා.
- ස්ක්‍රීන්ශොට්, සල්ලි ගෙවපු රිසිට්, මැසේජ් හා ලිින්ක් සුරක්ෂිතව තියා ගන්න.
- ඔයාට සැකසහිත මාර්ගගත (ඔන්ලයින්) කරදරයකට මුහුණ දීමට සිදු වුණොත්, උපදෙස් හා මඟපෙන්වීම සඳහා හිතවතී එක්ක සම්බන්ධ වෙන්න.
0 Comments