කියන්න දේවල් ගොඩක් තිබුණත්… අහගෙන ඉන්න කවුරුත්ම හිටියේ නැති දවසක් ඔයාගේ ජීවිතෙත් තිබුණද?
සමහරවිට යාළුවෙක් එක්ක රණ්ඩු වුණ වෙලාවකදි වගේ.
එහෙමත් නැත්නම් ඔයාගේ ජීවිතයේ මොනම විදියක හරි දෙයක් ගැන ඔයා පීඩනයකින් හිටපු වෙලාවක. අනාගතය, පෞද්ගලික ජීවිතය හෝ ඉගෙනීම වගේ දෙයක් ගැන.
මේ වගේ වෙලාවක තව කෙනෙක් එක්ක කතාකරන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. සමහර මිනිස්සු අපිව විනිශ්චය කරන්න පුළුවන්. ඒ වගේම එයාලා අපි ගැන වැරදියට හිතයි කියන බයත් අපිට තියෙනවා.
ඉතින්, කෙනෙක්ට මෙහෙම වෙලාවක කාටත් වඩා චැට් කරන්න පුළුවන් AI චැට්බොට් ගැන විශ්වාසය ඇති වෙන්න පුළුවන්. තමන් ගැන වැරදියට හිතයිද කියලා බයක් හිතෙන්නෙත් නෑ.
මේ වගේ AI චැට්බොට් කෙනෙක් එක්ක දවසේ ඕනම වෙලාවක කතාකරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඉක්මනටම අපිට පිළිතුරුත් ලැබෙනවා. ඉතින් තව කෙනෙක් එක්ක කතාකරනවට වඩා මේ විදිය පහසුයි වගේ දැනෙනවා. AI එක්ක කතාකරන දේවල් කවුරුත්ම දැනගන්නේ නැති නිසා සමහර අය තමන්ගේ පෞද්ගලික හැඟීම් පවා බෙදාගන්නවා.
මේ දේවල් වලින් අපිට පැහැදිලි වෙන්නේ AI කියන්නේ නිකන්ම නිකන් ටූල් (Tool) එකක් විතරක්ම නෙවෙයි. ඒක මිනිස්සුන්ගේ හිතට සැනසීම ලබාදෙනවා. ඒ වගේම මානසිකව ලොකු ශක්තියක් ලබාදෙනවා.
AI වලින් ඔයාට සැනසීම ලැබෙනවා වගේ දැනෙන්නේ ඇයි?
සමහර වෙලාවට පෞද්ගලික ගැටලු සහ අභියෝග ගැන කතාකරන එක ලේසි දෙයක් නෙවෙයි.
මිනිස්සු එක්ක කතාකරනවට වඩා, AI චැට්බොට් එක්ක කතාකරද්දී එයා අපිට බාධා කරන්නේ නෑ. මනුස්සයෙක් වගේ අපිට ආවේගයෙන් පිළිතුරු දෙන්නෙත් නෑ. හැබැයි ඔයා කියන දේවල් හොඳින් අහගෙන ඉඳලා ඔයාට උදව් කරන්න පුළුවන් විදියට පිළිතුරු දෙනවා.
ඒ විතරක්ම නෙවෙයි තනිකමින් පීඩනයෙන් ඉන්න කෙනෙක්ට මේ වගේ ඕනම වෙලාවක කතාකරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියන්නෙත් ලොකු සැනසීමක්.
කොහොම වුණත්, AI කියන්නේ හැඟීම් දැනීම් තියෙන මනුස්සයෙක් නෙවෙයි කියලා හොඳට මතක තියාගන්න.
AI වලට ඔයාට උදව් කරන්න පුළුවන්, හැබැයි මනුස්සයෙක්ගේ අඩුව පුරවන්න බෑ
ඔයා හිතන විදිය වෙනස් කරගන්න AI වලට උදව් කරන්න පුළුවන්. හැබැයි මනුස්සයෙක්ට දැනෙන විදියටම දේවල් ගැන කියන්න බෑ.
ඔයාගේ යාළුවෝ, පවුලේ අය වගේම ළඟම ඉන්න අය ඔයාගේ ජීවිතය ගැන දන්න දේවල් AI දන්නේ නෑ.
AI වලින් ඔයාට එක එක විදියේ අදහස් දුන්නට හරියටම ඔයා ඉන්න තත්ත්වය ගැන අවබෝධයක් නෑ. ඒ නිසා ඔයාට දෙන උපදෙස් ඔයා ඉන්න තත්ත්වෙට හරියනම දේවල් ද කියලා අපිට කියන්න බෑ. විශේෂයෙන්ම ගොඩාක් දුෂ්කර අවස්ථාවල ඇත්තම මිනිස්සුන්ගේ සහය ගොඩාක් වැදගත්.
හරියටම සමබරව ඉන්න විදිය හොයාගන්න
ඔයාගේ සිතුවිලි හරි විදියට සකස් කරගන්න හෝ අදහස් තවදුරටත් පැහැදිලි කරගන්න AI පාවිච්චි කරන්න පුළුවන්.
කොහොම වුණත්, ඕනාවට වඩා AI එක්ක බැඳිලා ඉන්න එක භයානකයි. ඒකෙන් හිතට දැනෙන තනිකම තව වැඩිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම, ඒක සිද්ධ වෙන්නේ ඇත්ත ලෝකයේ තියෙන මිනිස් සම්බන්ධතා වෙනුවට AI සම්බන්ධතා වැඩි වුණාම. ඔයාට දරාගන්න බැරිම වෙලාවක ඔයාට විශ්වාසවන්තම කෙනෙක් එක්ක කතාකරන්න. ඒකෙන් AI වලට කරන්න බැරි දෙයක් කරන්න පුළුවන්.
මතක තියා ගන්න
AI වලට ඔයාගේ පණිවිඩ වලට උත්තර දෙන්න පුළුවන්. නමුත් ඇත්ත මිනිසුන්ට ඔයාගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන්. ඔයා එක්ක දුක සැප බෙදාගන්න පුළුවන්. හැබැයි තාක්ෂණයට එහෙම බෑ.
AI වැදගත් දේවල් වලට පාවිච්චි කරන්න. හැබැයි ඔයාගේ වටේ ඉන්න අය එක්ක ඊට වඩා හොඳ සම්බන්ධයක් ගොඩනගා ගන්න.
මුලාශ්‍රය:
https://www.apa.org/monitor/2026/01-02/trends-digital-ai-relationships-emotional-connection
https://news.stanford.edu/stories/2026/08/ai-companions-chatbots-loneliness-research
0 Comments