හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ඔයාව කොහේදී හරි දැකලා පුරුදුයි

 මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතයි.


මාලිකාගේ වයස අවුරුදු 25යි. ඇය විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්. ඇය ඉගෙන ගන්න ගමන්ම රැකියාවක් කළා. මේ හැමදෙයක්ම ඇය පෞද්ගලික ජීවිතය සමඟත් සමබරව කරගෙන ගියා. මාලිකා හැමවෙලේම හිතුවේ විමසිල්ලෙන් ඉන්න එකෙන් ගොඩාක් දේවල් වලින් පරිස්සම් වෙන්න පුළුවන් කියලා. ඇය නිතර දෙවේලේ නව තාක්ෂණය සම්බන්ධ ප්‍රවෘත්ති, සයිබර් අපරාධ පිළිබඳ දැනුවත් කිරීම් හා ඔන්ලයින් අවකාශය තුළ ආරක්ෂා වෙන විදිය වැනි අලුත්ම තොරතුරු ගැන විමසිල්ලෙන් හිටියේ. යාළුවෝ එයාට විහිළුවට කිව්වේ රොබෝටික්කා කියලා, මොකද එයාව යාළුවෝ අතර ප්‍රසිද්ධ වෙලා තිබුණේ සියල්ල දත් කෙනෙක් විදියට.

මේ ලැබෙන අවධානය එයාට මුලදී නම් හරිම ආඩම්බරකාරී හැඟීමක් වුණත් පස්සේ පස්සේ ඇයට මේක හිතට වද දෙන දෙයක් වුණා. මුලදී එයා අනවශ්‍ය විදියට සමාජ මාධ්‍ය වල ශෙයා කරගන්න ඒවා එහෙම සීමා කරලා තිබුණේ. එයා එයාගේ ආරක්ෂාව ගැන හරියට වගකීමෙන් වැඩ කළා. හැබැයි මේ ඕනවට වැඩි පරිස්සම ඇයට කරදකාරී හැඟීම් ඇති කළා. පසුව මේ කරදරකාරී හැඟීම් බයක් වෙලා තමයි නතර වුණේ.

එයාට හැමවෙලේම මෙහෙම හිතුණා:

ඊළඟ ගොදුර මමද?

මේ හැඟීමත් එක්ක මාලිකා ඉක්මනටම සමාජ මාධ්‍ය හැම එකකින්ම අයින් වුණා. කිසිම දෙයක් ශෙයා කරගන්නවත්, කාත් එක්කවත් කතා කරන්නවත්, අවසානේ කිසිම සමාජ මාධ්‍ය ගිණුමකට ලොග් වෙන්නවත් මාලිකාට ඕන වුණේ නෑ. එයාට ගෙදර ඇරුණාම හැම තැනක් ගැනම තිබුණේ හරිම අනාරක්ෂිත හැඟීමක්. මේ දේවල් එක්ක එයා හැම වෙලාවෙම ගෙදර විතරක් ඉන්න පුරුදු වුණා.

මේ හැඟීමත් එක්ක විශ්වවිද්‍යාලයේ කටයුතු වගේම රැකියාවේ දේවලුත් එකපාර කරන එක ඇයට හරිම අපහසුවක් වුණා. මේ හේතුවත් එක්ක ඇයට දැනුණු බය නිසාම ඇයට ඕන වුණේ ගෙදරට වෙලා වැඩකරන්න. ඇය කාර්යාලයෙන් නැවත නැවත නිවසේ සිට වැඩකිරීමේ පහසුකම ඉල්ලා සිටියත් පවතින රීති එක්ක ඇයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වුණා. ඉතින් එදා ඉඳන් ඇය රැකියාවට පවා ආවේ මහා බරක් ඔලුව උඩ තියාගෙන වගේ.

පාරෙදී, පොදු ප්‍රවාහනයේදී ඇය අනෙක් අයගේ බැල්මක් වුණත් මඟහැරලා ඉන්න උත්සහ කළා. නොදන්නා කෙනෙක්ගේ බැල්මක් වුණත් ඇයට ගෙන ආවේ හරිම අපහසුවක්. ඒ තත්පරය පවා ඇයට හදවත ගැහෙන්න හේතු වුණා.

මගේ පින්තූර දැනටමත් එඩිට් කරලා මම හිතන්නෙවත් නැති විදියට ඉන්ටර්නෙට් එකේ කොහේ හරි ශෙයා වෙලාද දන්නෑ.”

කවුරුහරි මගේ ෆෝන් එක හොරකම් කරලා වංචාකාරී දේවල් වලට පාවිච්චි කරයිද දන්නෑ”

මම දන්නෙවත් නැතුව මොකක්හරි නීති විරෝධී දේකට මාව අහු වෙලාද දන්නෑ

මේ වගේ සිතුවිලි ඇය යන හැමතැනටම අරගෙන ගියා.

මාලිකා ඉස්සර වගේ වැඩ කරන තැන අය එක්ක නිදහසේ කතා කළේ නෑ. විශේෂයෙන්ම එයා IT අංශයේ ඉන්න අයව මුණගැහුණේම නෑ. ඒ අය සයිබර් අපරාධකරුවන් වගේ ඇයට හිතුණා. ඒ වගේම හැම රෑම එයා අමතක නොකර එයාගේ පාස්වර්ඩ් වෙනස් කළා. හැමදේම හොඳින් කියල එයාට හිතෙනකන්ම මාලිකා නිදාගත්තෙ නම් නෑ.

හදිසියේම හිතුන ගමන්ම එයා හිටිය වට්ස්ඇප් සමූහ (ගෲප්) වලින් අයින් වුණා: කාර්යාලයේ, විශ්ව විද්‍යාලයේ වගේම යාළුවෝ එක්ක හිටපු සමූහ වලිනුත් එයා අයින් වුණා. ඇය කොයිතරම් මේ ගැන වද වුණාද කිව්වොත් එයා එයාගේ ස්මාර්ට් ෆෝන් එකෙන් පුංචි බට්න් ෆෝන් එකකට මාරුවුණා. එයා හිතුවේ තාක්ෂණයෙන් ඉවත් වෙලා ඉන්න එකෙන් එයාව ආරක්ෂා වෙයි කියලා. මේ විදියට එයා යාළුවෝ හම්බ වෙන එකත් නතර කරා. අඩුම තරමේ කෝල් එකක්වත් ආන්සර් කළේ නෑ. මැසේජ් වලට රිප්ලයි කළේම නෑ. එයා එයාටත් නොදැනීම තනි වුණා.

මාලිකාගේ මේ හැසිරීම නිසා මොකක් හරි වැරදි දෙයක් වෙනවා කියලා එයාගේ යාළුවන්ට තේරුණා. ඒ නිසාම මාලිකාගේ කාර්යාලයේ හිටපු ළඟම යාළුවෙක් එයාගේ අම්මා එක්ක කතා කළා. මේ දවස්වල මාලිකා ඇයගේ ස්මාර්ට් ෆෝන් එක පැත්තකට විසිකරලා තියෙන්නේ කියලා එයාගේ අම්මා කිව්වා. අම්මටත් ස්මාර්ට් ෆෝන් පාවිච්චි නොකර සමාජ මාධ්‍ය වලින් අයින් වෙන්න කියලා මාලිකා කියලා තිබුණා. මාලිකාගේ බය ඇයගේ ගෙදරටම ඇවිත් තිබුණේ.

එක දවසක් පොදුවේ හැමෝටම නිතර එන මැසේජ් එකක් මාලිකාටත් ආවා. ඒකේ තිබුණේ ඔන්ලයින් ණය සම්බන්ධ තොරතුරු. මේ වගේ මැසේජ් බොහෝ දෙනාට එනවා වගේම මේවා ලේසියෙන්ම ගණන් නොගෙන ඉන්න පුළුවන් වුණත් මාලිකාට එහෙම ඉන්න බැරිවුණා. එයා ඒක ගැන හිතුවේ වෙනස්ම විදියට. එයා හරියට බය වුණා.

මට තේරුනා මගේ විස්තර කවුරු ළඟ හරි තියෙනවා කියලා. මං දැන් අහුවෙලා ඉවරයි

ඇය ඉක්මනටම පොලීසියට පැමිණිලි කරන්න වගේම ගමෙනුත් පිටවෙලා යන්න තරම් දුරට හිතුවා.

ඇයගේ යෙහෙළියක් ඇයට හොඳින් පැහැදිලි කරලා දුන්නේ, මේ වගේ දේවල් මටත් මීට කලින් ඕන තරම් ඇවිල්ලා තියෙනවා. මේවා හරිම සාමාන්‍යයි. දන්නේ නැති ලින්ක් එහෙම ක්ලික් කරන්නේ නැතුව හිටිය නම් හැමදේම හොඳින් කියලයි. නමුත් මේ වෙනකොටත් මාලිකා හිටියේ හොඳටම බයෙන්. එයාට කිසිම දෙයක් අහන්න ඕන වුණේ නෑ.

මේ තත්ත්වය හිතනවට වඩා දුර ගිහින් කියලා තේරුණ මාලිකාගේ යාළුවා ටික්ටොක් හි හිතවතී ගේ වීඩියෝ එකක් දැකලා මාලිකාට උදව් ගන්න සම්බන්ධ කළා. මාලිකා හිතවතී එක්ක කතාකරද්දී එයාට තියෙන බය, නින්ද යන්නේ නැති එක වගේම හැම වෙලාවකම දැනෙන අනතුරුදායක හැඟීම ගැනත් විවෘතවම කතා කළා. හොඳින් අහගෙන හිටපු හිතවතී මාලිකාට පැහැදිලි කරලා දුන්නේ, කොච්චර සයිබර් තර්ජන තිබුණත් හැමවෙලේම ඒ ගැන හිත හිත බයෙන් ඉන්න එකෙන් මානසිකව, කායිකව වගේම තමන් එක්ක ඉන්න පුද්ගලයින්ගේ බැඳීම් වලටත් හානි වෙන්න පුළුවන් කියලයි. ඇය දැනටමත් හැම විදියකින්ම ආරක්ෂිතව ඉන්න නිසා අනතුරක් නැති බව හිතවතී තේරුම් කළා. මාලිකාට තිබුන අධික බය වගේම පීඩනය ගැන හිතලා හිතවතී එයාව වැඩිදුර මානසික සහය සඳහා සුමිත්‍රයෝ වෙත යොමු කළා.

මාලිකාගේ කතාවෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ, හැමදේම ගැන දැනුවත් වෙන එකෙන් අපිට පරිස්සමට ඉන්න පුළුවන් හැබැයි ඒකෙන් අපිව හිරකරන්න බෑ.

ඒ වගේම උදව් ඉල්ලන එක දුර්වලකමක් නෙවෙයි, ඒක ලොකු ශක්තියක් අපිට.


පූර්ව ආරක්ෂණ උපදෙස්

දැනුවත්භාවය සහ මානසික සහනය යන දෙකම සමබරව තියාගන්න.
සයිබර් අපරාධ ගැන ප්‍රවෘත්ති හැම වෙලාවෙම දකින එකෙන් මානසික සහනය නැතිවෙන්න පුළුවන්.

ප්‍රතිචාර දක්වන්න කලින් පුංචි විරාමයක් ගන්න.
හැම මැසේජ් එකක්ම/දැනුම්දීමක්ම අනතුරුදායක වෙන්නේ නෑ. හොඳට හිතන්න වෙලාව අරන්.

නොදන්නා ලින්ක් ක්ලික් කරන්න එපා.
වංචනික මැසේජ් සාමාන්‍යයි. කිසිම දෙයක් නොකර ඒවා ඩිලීට් (Delete) කරලා දාන්න.

ස්මාර්ට් ආරක්ෂිත පුරුදු භාවිතා කරන්න.
ශක්තිමත් පාස්වර්ඩ් එකක් හා දෙපියවර සත්‍යාපනය (Two Factor Authentication) හොඳටම ප්‍රමාණවත්. හැමවෙලේම පාස්වර්ඩ් වෙනස් කරන්න වද වෙන්න අවශ්‍ය නෑ.

පුද්ගල සම්බන්ධතා තියාගන්න
තනි වෙන එකෙන් වෙන්නේ බය වැඩි වෙන එක විතරයි. ඒ නිසා පවුල වගේම ළඟම විශ්වාසවන්ත අය එක්ක කතාකරන්න.

අවශ්‍ය වෙලාවට උදව් ලබාගන්න
බය කියන හැඟීම ඔයාගේ එදිනෙදා වැඩ වලට බලපානව නම්, මේ වගේ උපදේශනය ලබාදෙන ආයතන එක්ක සම්බන්ධ වෙන්න.

📞 ජාතික මානසික සෞඛ්‍ය ආයතනය – 1926

📞 සුමිත්‍රයෝ

📞 මානසික සෞඛ්‍ය හදිසි ඇමතුම් අංකය -  1333

📞 කාන්තා පිහිට 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Post a Comment

0 Comments