හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ඔන්ලයින් ණය උගුල


කනිෂ්කා කියන්නෙ දරුවත් එක්ක තනියම ජීවත් වූ අම්මා කෙනෙක්. එයා ගේ දොර ඔක්කොම වැඩ කටයුතු තනිව බලා ගත්තා. කාර්යබහුල ජීවිතයෙන් ටිකක් මිදෙන්න එයා ෆේස්බූක් එකේ පොඩි කාලයක් ගත කළා. ඔය අතරතුරේ එයා දැක්කා ඉක්මනින් හා ලේසියෙන් ලබා ගත හැකි පොළී රහිත ණය (ලෝන්) ගැන පෝස්ට් එකක්. ඒ වෙලාවෙ කනිෂ්කාට ඕනම වුන දේ, මොකද එයා රටේ ආර්ථික අර්බුදයත් එක්ක ගොඩක් අමාරුවෙ වැටිලා හිටියෙ. ගෙවා ගන්න බැරිව බිල් පවා ගොඩගැහිලා තිබුණේ. ඒ නිසා එයාට හිතුනා මේකෙන් වත් සහනයක් ලබාගන්න. ලෝන් ලබා දෙන පුද්ගලයා සමිත කියලා කෙනෙක්. අදාළ ලින්ක් එක ක්ලික් කරලා එයා සමිතට මැසේජ් එකක් දැම්මා.

හෙලෝ, මම සමිත, ක්වික් ලෝන් සර්විසස් එකෙන්. කෙසේද මම ඔබට සහය වන්නෙ? සමිත ඒ විදියට පිළිතුරු දුන්නා .

කනිෂ්කා සමිත එක්ක පොඩ්ඩක් කතා කරා. හිතට ආව පොඩි පොඩි සැකයන් ගැන වැඩිය හිතන්නෙ නැතුව අදාළ කොන්දේසිවලට කනිෂ්කා එකඟ වුණා. කනිෂ්කා එයාගෙ පෞද්ගලික තොරතුරු යවලා අවශ්‍ය ණය මුදල බලාපොරොත්තු වුණා.

දවස් ගත වෙනකොට කනිෂ්කා බලාපොරොත්තු අත් හැරියා. සමිත එක එක ප්‍රශ්න කිය කිය වැඩේ පරක්කු කරා. අන්තිමේදි කොහොම හරි බැංකු ගිණුමට සල්ලි වැටුණා. වෙලාවෙ හැටියට මේ සල්ලි ටික කනිෂ්කාට ලොකු සහනයක් වුණා.

කනිෂ්කා මේ ගත්ත ලෝන් එක ආපහු ගෙවන්න යනකොට තමයි එයා ලොකුම ප්‍රශ්නෙට මුහුණ දුන්නෙ. එයා ගෙවන්න ඕන මාසික වාරික අසාමාන්‍ය ලෙස වැඩි වෙලා. කනිෂ්කාට මේක ගෙවාගන්න අමාරු වුණා. කනිෂ්කා සමිතට කතා කරලා මේ ගැටළුව ගැන ඇහුවා.

කනිෂ්කා: හෙලෝ මිස්ට. සමිත, ඔයා කිව්වට ලෝන් එකට පොළියක් එකතු වෙන්නෙ නෑ කියලා, මුල් මාස දෙකට වඩා වාරික ගාස්තු හොඳටම වැඩිවෙලානෙ. මේක අපි කතා කරගත්ත විදිය නෙවේ නේද? මට මේ දවස්වල තව සල්ලි ප්‍රශ්න තියනවා. අනේ පුළුවන් නම් පොඩ්ඩක් ආයෙත් බලලා හරි ගාණ කීයද කියලා එවනවද? තව පොඩි දෙයක්, මට පොඩි කාලයක් දෙනවද ඉතිරි වාරික ගෙවන්න සල්ලි ටිකක් එකතු කරගන්න?

කනිෂ්කාට හොඳ පිළිතුරක් නම් ලැබුනේ නෑ.

ඒ වෙනුවට සමිත කනිෂ්කාට තර්ජනය කරා. කනිෂ්කාගේ පින්තූර, පාරේ බැහැලා යන්න බැරි වෙන විදියට, නරක කමෙන්ට් එක්ක ෆේස්බුක් එකේ හැමතැනම දානවා කිව්වා. සමිත ඒ දේ කිව්ව විදියටම කළා. මේ දෙයින් කනිෂ්කා ලැජ්ජාවට වගේම පීඩාවට පත් වුණා.

කනිෂ්කාගේ ලොකු පුතාගෙ ඉස්කෝලේ ගුරුවරු, දෙමාපියන් මේ සිද්ධිය ගැන අහන නිසා කනිෂ්කාට මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බැරුව හිටියෙ. අන්තිමට කනිෂ්කා හිතවතීගෙන් මේ සම්බන්ධව උපදෙස් ගත්තා. ඇයට හිතවතී ගැන කිව්වෙ පුතාගෙ ඉස්කෝලේ එයාව තේරුම් ගත්ත අම්මා කෙනෙක්.

හිතවතී කනිෂ්කාට කිව්වා අදාළ හිංසාකාරී ෆේස්බුක් පෝස්ට් රිපෝට් කරන්න කියලා. ඒ වගේම ෆේස්බුක් ඇප් එක හරහා රිපෝට් කරලා අදාළ අන්තර්ගතයන් අයින් වුනේ නැත්නම් හිතවතී හරහා රිපෝට් කිරීම සඳහා යළිත් සම්බන්ධ වෙන්න කියලා දැනුම් දුන්නා. අදාළ වංචාව සම්බන්ධව නීතිමය උපදෙස් ලබාගැනීමට පොලීසියේ පැමිණිල්ලක් යොමු කරන්නත් කියලා උපදෙස් දුන්නා.

කනිෂ්කා අපහසුතාවයට ලක් වූ අවස්ථාවේ උදව් කිරීම සම්බන්ධව ඇය හිතවතීට ස්තූති කළා.


පූර්වාරක්ෂක ඉඟි:

  • මාර්ගගත (ඔන්ලයින්) ණය ඉහළ අවදානම් සහගත වේ. ඔවුන්ට ඔබේ ජංගම දුරකථනයේ ඇතැම් යෙදුම් (ඇප්) වලට අවසර අවශ්‍ය විය හැකි අතර ඒවා අනිසි ලෙස භාවිත කිරීම් ද කළ හැක.

  • සමාජ මාධ්‍ය වේදිකාවල හෝ අන්තර්ජාලයේ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සුපරීක්ෂාකාරී වීම සහ නිසි ලෙස තහවුරු කර ගැනීම (verification) වැදගත් වේ.

  • ඔබේ සමාජ මාධ්‍ය ගිණුම් විශ්වාසවන්ත මිතුරන්ට පමණක් පෙනෙන පරිදි පුද්ගලිකව තබා ගන්න.

  • පුද්ගලික, බැංකු, මූල්‍ය තොරතුරු කිසිවක් තෙවන පාර්ශ්වයක් සමඟ හුවමාරු කර නොගන්න.

  • සයිබර් අපරාධයක් සම්බන්ධව පැමිණිල්ලක් ඇත්නම් ඒ බව පැහැදිලිව අදාළ සාක්ෂි (නිවැරදි ලින්ක්, ස්ක්‍රීන්ෂොට් යනාදිය) සහිතව සඳහන් කර CID එකට ගොස් භාර දිය හැක. නැතහොත් ලියාපදිංචි තැපෑලෙන් “අධ්‍යක්ෂ, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01” යන ලිපිනයට හෝ ඊමේල් හරහා dir.ccid@police.gov.lk හෝ  report@cid.police.gov.lk වෙත පැමිණිල්ල යොමු කළ හැක.

Post a Comment

0 Comments