හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

උත්සව කාලේ උගුල්වලට අහු නොවී ඔන්ලයින් ෂොපිං කරන හැටි


ඔන්ලයින් ෂොපිං අවදානම්ද?

මාර්ගගත සාප්පු සවාරි නැත්නම් ඔන්ලයින් ෂොපිං හරි පහසුයි, ඒත් එහි අවදානමක් නැතුවාම නොවේ. ඔබ අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලදී ගන්නා විට, සයිබර් අපරාධකරුවන් ඔබට පාඩු කිරීමට උත්සාහ කළ හැකි අවස්ථාවන් තිබිය හැක. ඔවුන් මෙය සිදු කරන්නේ ඔබේ මුදල් ගැනීමට උත්සාහ කිරීමෙන් හෝ ඔබේ පුද්ගලික තොරතුරු සොරකම් කිරීමෙනි. මෙම අපරාධකරුවන් ඉතාමත් උපක්‍රමශීලීව කටයුතු කරයි. ඔවුන් ව්‍යාජ වෙබ්අඩවි නිර්මාණය කරන අතර සත්‍ය වශයෙන්ම ගබඩාවක නැති දේවල් විකිණීමෙහි නිරත වේ. තවද ඔබේ පුද්ගලික සහ ගෙවීම් විස්තර සොයා ගැනීමට උත්සාහ කරමින් ඔබ භාවිතා කරන උපාංගයට අනිෂ්ට මෘදුකාංග (මැල්වෙයා) ඉන්ස්ටෝල් කිරීමට තැත් කරයි. එබැවින්, අන්තර්ජාලය හරහා සාප්පු සවාරි යෑම කෙතරම් පහසු වුවද, ඔබ සැලකිලිමත් විය යුතු සැඟවුණු අනතුරක් එහි තිබිය හැක.


ඔන්ලයින් ෂොපිං හා බැඳි ඍණාත්මක පැත්ත

ඔන්ලයින් සාප්පු සවාරි වංචා සඳහා ඕනෑම වයසක කෙනෙකු සහ ඕනෑම පරිමාණයක ව්‍යාපාර ඉලක්ක කර ගනී.


  • ව්‍යාජ වෙබ්අඩවි: සමහර වෙබ්අඩවි සත්‍ය නොවන අතර සයිබර් අපරාධකරුවන් විසින් සාදා ඇත. මිනිසුන් රවටා ඔවුන්ගේ මුදල් සොරකම් කිරීමට හෝ පුද්ගලික තොරතුරු ලබා ගැනීමට ඔවුන් මෙම වෙබ්අඩවි භාවිතා කරයි.

  • ව්‍යාජ නිෂ්පාදන: සමහර විට, මිනිසුන්ට ඔවුන් ඇණවුම් (ඕඩර්) කරන අවස්ථාවේ පොරොන්දු වූ දේ නොලැබේ. ඔවුන් මේ පිළිබඳව දැනගන්නේ භාණ්ඩය ලැබීමෙන් පසුවය.

  • පෞද්ගලිකත්වය සහ ආරක්ෂක ගැටළු: ඔබ ඔන්ලයින් මිලදී ගැනීම් සඳහා ගෙවන විට, ඔබට සාමාන්‍යයෙන් ඔබේ නම, පදිංචි ලිපිනය සහ ඊමේල් ලිපිනය වැනි පුද්ගලික තොරතුරු සැපයීමට සිදුවේ. සයිබර් අපරාධකරුවන්ට මෙම තොරතුරු අනිසි ලෙස භාවිතා කළ හැක.

  • තාක්ෂණික ගැටළු: දුර්වල අන්තර්ජාල සම්බන්ධතා, පරිගණක පද්ධතිවල දෝෂ හෝ වෙනත් තාක්ෂණික ගැටළු නිසා පාරිභෝගිකයා සහ විකුණුම්කරු යන දෙදෙනාම ගැටළුවලට මුහුණ දිය හැක. මෙය අන්තර්ජාලය හරහා සාප්පු සවාරි කිරීමට බාධාවක් විය හැක.

  • හැකර්වරුන්ගේ තර්ජන: හැකර්වරු ව්‍යාජ සාප්පු සවාරි (ෂොපිං) වෙබ්අඩවි සාදා පාරිභෝගිකයින්ගේ පුද්ගලික තොරතුරු සොරකම් කර ඒවා භායානක දේවල් සඳහා භාවිතා කරයි.

අපි ආරක්ෂිතව ඔන්ලයින් ෂොපිං කරමු

  • සෑමවිටම ආරක්ෂිත උපාංග භාවිතා කර අන්තර්ජාලය හරහා මිලදී ගැනීම් සිදු කරන්න – භාවිතා කරන උපාංගවලට නවතම යාවත්කාලීන (අප්ඩේට්) ඉන්ස්ටෝල් කර ඇති බවත්, නිවසේ WI-FI හෝ ඔබේම මොබයිල් ඩේටා වැනි විශ්වාසදායක ජාලයකට සම්බන්ධ වී ඇති බවත් (පොදු / පබ්ලික් WI-FI නොවන බවත්) සහතික කර ගන්න.

  • ඔබගේ ගෙවීම් තොරතුරු සහ ගිණුම් ආරක්ෂා කරන්න – අන්තර්ජාල සාප්පු සවාරි ගිණුම්වල ගෙවීම් තොරතුරු සුරැකීමේදී (සේව් කිරීමේදී) සැමවිටම ප්‍රවේශම් වන්න. ඔබ ගිණුමකට ගෙවීම් තොරතුරු සේව් කරන්නේ නම්, බහු-සාධක සත්‍යාපනය (මල්ටි-ෆැක්ට ඔතෙන්ටිකේෂන් / MFA) සක්‍රීය කළ යුතු අතර එය කළ නොහැකි ස්ථානවල දිගු, සංකීර්ණ සහ අනන්‍ය මුර-වැකියක් (passphrase) භාවිතා කිරීම වඩා සුදුසු ය.

  • මාර්ගගත ගනුදෙනු සඳහා ආරක්ෂිත ගෙවීම් ක්‍රම භාවිතා කරන්න – ඍජු බැංකු තැන්පතු, මුදල් මාරු (ට්‍රාන්ස්ෆ) කිරීම් හෝ බිට්කොයින් වැනි ඩිජිටල් මුදල් වලින් ගෙවීමෙන් වළකින්න. ඒ වෙනුවට PayPal හෝ ඔබේ ක්‍රෙඩිට් කාඩ් වැනි ආරක්ෂිත විකල්ප සඳහා යොමු වෙන්න. ඔන්ලයින් සාප්පු සවාරි සඳහා පමණක් අඩු සීමාවක් සහිත වෙනම ක්‍රෙඩිට් කාඩ්පතක් සකසන්න.

  • සැමවිටම විශ්වාසවන්ත විකුණුම්කරුවන් තෝරා ගන්න – ඔබ ඕනෑම දෙයක් මිලදී ගැනීමට පෙර ඔන්ලයින් ෂොපිං වෙබ්අඩවි ගැන හොඳ අධ්‍යයනයක් කර පිළිගත් විකුණුම්කරුවන් සමඟ ගනුදෙනු කිරීමට වග බලා ගන්න.

  • සැක සහිත ඕනෑම දෙයක් අදාළ පුද්ගලයන් / විකුණුම්කරුවන් සමඟ සම්බන්ධ නොවී වාර්තා (රිපෝට්) කරන්න – පුද්ගලික හෝ මූල්‍ය තොරතුරු ලබා ගැනීමේ ප්‍රවේශයක් විය හැකි බැවින්, මාර්ගගත ඇණවුම් සම්බන්ධයෙන් සැක සහිත දුරකථන ඇමතුම්, පණිවිඩ හෝ ඊමේල් ගැන විමසිල්ලෙන් සිටින්න.

  • ව්‍යාජ බෙදාහැරීමේ (ඩිලිවරි) වංචා ගැන විමසිලිමත් වන්න – අනිෂ්ට මෘදුකාංග ඩවුන්ලෝඩ් කිරීමට තුඩු දෙන සබැඳි (ලින්ක්) සහිත ව්‍යාජ පාර්සල් බෙදා හැරීමේ පණිවිඩ යැවීමෙන් සයිබර් අපරාධකරුවන් මහජනයා රැවටීමට තැත් කරයි. ඔබට එවැනි ලින්ක් හමු වුවහොත් ඒවා ක්ලික් නොකරන්න, අදාළ පණිවිඩ වහාම මකා දමා කුරියර් / විකිණුම්කරු සම්බන්ධ සත්‍ය වෙබ්අඩවි වෙත යොමු වී තතු සොයා බලන්න.


මූලාශ්‍ර:

https://www.cyber.gov.au/protect-yourself/staying-secure-online/shopping-and-banking-online/online-shopping 

https://www.scamwatch.gov.au/types-of-scams/product-and-service-scams#toc–common-products-and-services-scams-

Effects of Online Shopping – Bhawna Attreya*, in Journal of Advances and Scholarly Researches in Allied Education | Multidisciplinary Academic Research – https://ignited.in/a/58037

Post a Comment

0 Comments