හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

අරුම පුදුම තෑග්ග!!


දිලිනි එදා වැඩට ගියේ හරිම කලබලෙන්. එයා ගෙදරින් වැඩට පිටත් වුනෙත් පරක්කු වෙලා. මේ වෙලාවේ ඇයට ලංකාවේ ප්‍රමුඛ පෙළේ දුරකථන සමාගමකින් ඇමතුමක් ආවා. දිලිනිට මේ කෝල් එක අඳුරගන්න පුළුවන් වුණා, මොකද එයා කෝල් කරන අය හඳුනගන්න ඇප් එකක් භාවිතා කරපු නිසා. දිලිනි ඒ වන විටත් ගොඩක් ප්‍රමාද නිසා එයාට මේ කෝල් එක ආන්සර් කරන්න ඕන වුණේ නෑ. ඒත්, දිලිනිට නැවත නැවතත් මේ කෝල් එක එනකොට එයාට ඒක මඟ හරින්න බැරි වුණා. දිලිනි කෝල් එක ගත් විට,

දුරකථන සමාගමේ නියෝජිතයා: හෙලෝ, සුභ පැතුම්! ඔයාට රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් තියනවා. අපි මේ අංකය අහඹු දිනුම් ඇදීමකින් තෝරා ගත්තෙ. ඔයාව තමයි පළමු ජයග්‍රාහකයා විදියට තෝරාගෙන තියෙන්නෙ.

එදා දිලිනිට එච්චරම හොඳ උදෑසනක් වුණේ නැතත් මේක අහලා එයාට පුදුම සතුටක් දැනුනා.

දිලිනි: මම මේ සේවාව තමයි ෆෝන් එකක් ගත්ත දවසෙ ඉඳලා පාවිච්චි කරේ. ඒ වගේම මේ නම්බර් එක තමයි දිගටම පාවිච්චි කලේ.

දුරකථන සමාගමේ නියෝජිතයා: ඔව් මිස්, ගොඩක් කල් මේ සේවාව ලබාගන්නා අපේ පරණම පාරිභෝගිකයින් අතරින් තමයි අපි මිස්ව තෝරගත්තෙ. මුදල් තෑග්ග මිස්ගේ ගිණුමට බැර කරන්න පුළුවන් නැත්නම් මිස්ට අපේ හෙඩ් ඔෆිස් එකට ඇවිල්ලා ගන්නත් පුළුවන්. හැබැයි දවල් 12:00 ට කලින් එන්න ඕන.

දිලිනි ටික වෙලාවක් කල්පනා කරා. වැඩ ගොඩක් කරන්න තිබුන නිසා බැංකු ගිණුමට සල්ලි ගෙන්න ගන්න එක එයාට ලේසියි කියලා හිතුනා.

දුරකථන සමාගමේ නියෝජිතයා: මිස් පොඩි දෙයක්, ඔයාට තෑග්ග ගන්න නම් පොඩි ගානක් ගෙවන්න වෙනවා, රු.10,000 යි. මිස්ට පුළුවන්ද මම කියන ගිණුමට ඒක දාන්න.

දිලිනි ඒ ගැන පොඩ්ඩක්වත් හිතුවෙ නෑ. ඒ වෙලාවේ එයා ඔෆිස් යන ගමන් හිටියේ.

දිලිනි: කරුණාකරලා මට අකවුන්ට් නම්බර් එක කියන්නකො, පොඩ්ඩක් ඉන්න මම ලියාගන්නම්

එයා ඉක්මනින් බෑග් එකෙන් පෑනක් අරන් විස්තර ටික අතේ ලියාගත්තා.

දිලිනි: මම ඉක්මනට සල්ලි දාන්නම්කො

දිලිනි ඔෆිස් එකට ගිහින්, විවේකයක් ලැබුන ගමන් ළඟම තියෙන ATM මැෂින් එකෙන් අර කියපු ගිණුමට සල්ලි දැම්මා. දිලිනි ආපහු ඔෆිස් එකට ඇවිත් බැංකුවෙන් මුදල් තෑග්ග ගැන පණිවිඩයක් එනකල් නොඉවසිල්ලෙන් හිටියා. ගොඩක් වෙලා ගියා, එයාට වැඩ කරන්න හිතුනෙත් නෑ. ටික වෙලාවකට පස්සේ දිලිනි කෝල් එක ආපු දුරකථන අංකයට ගන්න උත්සාහ කරා. ඒත් එයාට ඒ අංකයට සම්බන්ධ වෙන්න බැරි වුණා. එයා දිගින් දිගටම කෝල් ගත්තා. ඒත් ඔවුන්ව සම්බන්ධ කර ගන්න ලැබුනෙ නම් නෑ.

දිලිනි හරිම දුකෙන් වගේම කලබලයෙන් හිටියෙ. එයාගෙ ඔෆිස් එකේ යාළුවෙක් මේක දැකලා, මොකද වෙලා තියෙන්නෙ කියලා ඇහුවා. ඊට පස්සේ දිලිනි වුණ දේ යාළුවට කෙටියෙන් කිව්වා.

දිලිනිගෙ යාළුවා ළඟදී බලපු ටී.වී. වැඩසටහනකින් හිතවතී ගැන අහලා තිබුණා. එයා කිව්වා දිලිනිට හිතවතී උපකාරක සේවයට කතා කරලා උපදෙසක් ගන්න කියලා.

දිලිනි හිතවතී ට කතා කරේ හරිම කලබලයෙන්. හිතවතී ඉතා හොඳින් දිලිනිගේ කතාව අහන් ඉඳලා, මේ දවස්වල සුලභ ස්කෑම් වර්ග ගැන එයාට කියලා දුන්නා. දිලිනි විශාල රැවටීමකට ලක්වෙලා නිසා, එයා අයත් වන පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දාන්න කියලත් උපදෙස් දුන්නා. ඒ වගේම Tell IGP (පොලිස්පතිට කියන්න) වෙබ් දිගුව හරහා ඇයට මාර්ගගත (ඔන්ලයින්) පැමිණිල්ලක් මූලික පියවර ලෙස දාන්න පුළුවන් ආකාරයත් හිතවතී පැහැදිලි කරලා දුන්නා. තවදුරටත් මේ වගේ දේවල් වලින් අදාළ දුරකථන සමාගමේ ප්‍රතිරූපයට හානියක් වන නිසා අදාළ සමාගමට කතා කර ඔවුන් දැනුවත් කරන්න කියලත් ඇයට හිතවතී උපදෙස් ලබා දුන්නා.

ඇයගේ ගැටළුව විසඳාගැනීමට මග පෙන්වීම ගැන දිලිනි හිතවතී ට ස්තූති කරා.


 Precaution tips:

  • ඔබට ත්‍යාගයක් පිරිනමන විට ඇත්තටම දිනුම් ඇදීමක් තිබේදැයි සොයා බැලීමට උත්සාහ කරන්න. ඔබට ත්‍යාගය පිරිනමන ආයතනයේ නිල වෙබ්අඩවියට පිවිස ඔවුන් ඇමතීමෙන් ද තවදුරටත් එහි සත්‍යතාවය පරීක්ෂා කළ හැක.

  • ඔබට නිකරුණේ මුදල් දීමට උත්සාහ කරන කිසිවෙකු විශ්වාස කරන්න එපා. එනම් යමක් ඕනෑවට වඩා ආකර්ෂණය වන අවස්ථාවක දෙවරක් සිතන්න.

  • කිසියම් පාර්ශවයක් ඔබට වටිනා ත්‍යාගයක් ලබා දීමට යම් ගාස්තුවක් ගෙවන ලෙස ඔබෙන් ඉල්ලා සිටින්නේ නම්, එය වංචාවක් විය හැකි බැවින් ප්‍රතික්ෂේප කිරීම සැමවිටම වඩා හොඳය.

  • බලයලත් ආයතනයක් කිසිවිටෙක තම ගනුදෙනුකරුවන් සමඟ පුද්ගලික බැංකු ගිණුම් අංකයක් බෙදා නොගනී. එබැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.

  • ඔබට මෙය පිටුපස සිටින්නේ කවුරුන්දැයි සොයා බලා එම පුද්ගලයාට දඬුවම් කිරීමට අවශ්‍ය නම් (නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට) ඔබ අයත් පොලිස් ස්ථානයට පැමිණිලි කළ යුතුය, නැතහොත් www.telligp.police.lk හරහා මාර්ගගත (ඔන්ලයින්) පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුතුය (මෙහි දී පැමිණිලි වර්ගය යටතේ සයිබර් අපරාධ (cybercrime) ලෙස තෝරා අදාළ සාක්ෂි ද ඇමිණිය හැක).

  • දුරකථන අංකවල අයිතිකරු හඳුනාගන්නා ඇප් මඟින් සෑම අංකයකම සත්‍ය අයිතිකරුගේ නම (හැඳුනුම්පතේ / ආයතන ලියාපදිංචියේ සඳහන් පරිදි) හෙළි නොකෙරේ.


Post a Comment

0 Comments